මහනුවර – මහියංගණ මාර්ගයේ ගුරුළුපොත කඩමණ්ඩියට පහළින් පිහිටි මහ වනයේ මෙම ඓතිහාසික සීතා කොටුව නම් ස්ථානය පිහිටා තිබේ. අශෝක ගස්වලින් ගහනවූ මෙම ප්‍රදේශය හරහා ගලා බසින ජල මාර්ගයට වම් පසින් පිහිටි ගල් පඩි පෙළක්, ගොඩනැඟිලි කිහිපයක අත්තිවාරම් කිහිපයක්, කොරවක් ගලක් ඇතුළු නටබුන් සමූහයක් සහ ගල් ලෙනක් වර්තමානයේ මෙහි දැකගත හැකිය. ජල මාර්ගයේ සැඟවී ගිය ගුහාවක් මඟින් මාලිගාවකට පිවිසිය හැකි බවත්, මේ වන විට එම ගුහා විවරය වැසී ගොස් තිබෙන බවත් ජනප්‍රවාදයන් මඟින් පැවැසේ. සීතා කොටුව හා සම්බන්ධ ඉතිහාසය පූර්ව ඵෙතිහාසික යුගය දක්වාම එනම්, රාවණ රාජ්‍ය සමය තෙක් ඈත අතීතයට විහිද යන්නකි. තම රූමත් නැඟණියට
රාමාගේ අනුදැනුම ඇතිව ලක්ෂ්මණයන්ගෙන් සිදු වූ අමානුෂික දඬුවම වෙනුවෙන් පළිගැනීමක් ලෙස රාමාගේ රූමත් බිරිය වූ සීතාවන් පැහැරගෙන පැමිණි රාවණ රජු ඇය දිගු කලක් නිවාස අඩස්සියෙහි රඳවා තැබූ ස්ථානය සේ සැලකෙන්නේ හසලක ගුරුළුපොත ආසන්නයේහි පිහිටා ඇති සීතාකොටුව නමැති ස්ථානයේ බව සඳහන් වේ. ඊට සීතා කොටුව ලෙස නම පටබැඳී ඇත්තේද සීතාවන් කොටු කර තැබූ (හිර කර තැබූ) ස්ථානය යන නාමය පාදක කරගනිමින් බවද ඇය සීතා කොටුවට ගෙන යෑමට පෙර දණ්ඩකාරණය්යයේ සිට පැහැරගෙන පැමිණි ප්‍රථම ස්ථානය මිනිපේ ආසන්නයේ පිහිටි සීතා වාඩිය බැව් ජනප්රවාදයේ පවති. සීතාව පැහැරගත් රාවණ රජු එම ස්ථානයටම පැමිණීමට බලපෑ හේතූන් හා එතුමන් සමඟ ගුරුළුපොත සීතා කොටුව අතර පැවැති සබඳතාව කුමක්දැයි විමසා බැලිය යුක්තක් බව මොරයායේ ධර්මසේන මහවල විසින් රචනා කරන ලද “උඩදුම්බර හා මිණිපේ විත්ති” ග්‍රන්ථයේ සඳහන්ව ඇත.
සිංහල රජ සමයේ කිරිපට්ටිය නමැති ගමේ විසූ දිරිය කාන්තාවක විසින් ඉදිකරනු ලැබූ උඩදුම්බර මහ වනයේ ගල් පඩි හෙළ චෛතිහාසික වටිනාකමකින් යුත් ස්ථානයකි. මහියංගණ සෑ මළුවේ සිට බටහිර දෙස බලන විට ප්‍රථමයෙන්ම නෙත ගැටෙනුයේ දැවැන්ත කඳු වළල්ලකි. නකලස් කඳු පද්ධතියට අයත් මෙම කඳුපෙළ හඳුන්වනු ලබන්නේ කොස්ගොල්ල නැතහොත් කතරැල්ලා කන්ද නමිනි. මේ නකල්ස් කඳු පද්ධතිය පුරාවටත් දුම්බර මහ වනය පුරාවටත් විහිදී ඇත්තේ ඵෙතිහාසික බවින් අනූන වූ පුරාවෘත්තයන්ය. මේ පුරාවෘත්තයන් බොහෝමයක් අද ජන වහරට පමණක් සීමා වී ඇති අතර බොහෝ පුරාවෘත්ත වනයට යට වෙමින් ජාතියට අහිමි වෙමින් යන තත්ත්වයක් දක්නට ලැබේ. මේ පුරාවෘත්ත අතර මහ වනයේ කඳුකරය හරහා සිය සැමියාට ආහාර රැගෙන එන අතරේ සිය ගමන් පහසුව සඳහා දිරිය කාන්තාවක විසින් ඉදිකරනු ලැබූ ගල් පඩි 2000කින් පමණ සමන්විත ගල් පඩි පෙළත් සමඟ ඓතිහාසික පා ගමන් මාර්ගයක් අද ජාතියට අහිමි වෙමින් මහ වනයට යටවෙමින් පවතින බව පෙනේ. උඩදුම්බර කිරිපට්ටිය ගමේ විසූ බුලතා නමැති තරුණ ගොවියාගේ (පසු කාලීනව දුටුගැමුණු රජුගේ අමාත්‍ය මණ්ඩලයේ වාරිමාර්ග අමාත්‍යවරයා වූ බුලතා යෝධයා යැයි හඳුන්වන) බිරිය වන්නේ කළු එතනා නමැති තරුණියයි. ඇය තනිවම මෙම ගල් පඩි හෙළ නමැති කඳුකර පා ගමන් මාර්ගය ඉදිකළ බව වංශ කතාවල මෙන්ම ජන වහරයේ සදහන් වේ. බුලතා යෝධයාගේ බිරිඳ දක්ෂ කඩිසර කාන්තාවකි. ඇයගේ මේ දක්ෂතාව සහ කඩිසරකම නිසාම එවකට මහියංගණයේ විසූ දුටුගැමුණු රජුගේ මෑණියන් වන විහාරමහාදේවිය දුටුගැමුණු රජු විසින් ප්‍රතිසංස්කරණය කරන ලද මහියංගණ මහ සෑයේ චෛත්‍යයේ කොත පලන්දන අවස්ථාවට සහ බුලතා විසින් තනිවම ඉදිකරනු ලැබූ සොරබොර වැව ජාතියට දායාද කරන අවස්ථාවට එක්වෙමින් ගල් පඩි හෙළ නමැති පා ගමන් මාර්ගය සෑදූ බුලතා නමැති යෝධයාගේ බිරිය වන කළුඑතනා හට බින්තැන්නේ වීර මාතා යන ගෞරව නාමය පිරිනමන බව පවසා තිබේ. මීට අමතරව වීරෝදාර අඹුසැමි යුවළ සිදුකරන ලද ජාතික මෙහෙවර අගයමින් මෙම යුවළට කිරිපට්ටිය නමැති ගමත් බුලත්වැල්කඳුර ප්‍රදේශයත් ඇතුළත් ගම්මාන සියල්ල ගම්වර වශයෙන් පිරිනමා ඇත.